පෙරදිනයක මා පෙම් කළ යුවතිය
විචාරය
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
හිරුට සදුට් නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා....
පද රචනය- සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ් .ඩී අමරදේව
ගායනය- පණ්ඩිත් ඩබ්. ඩී අමරදේව
`` පෙර දිනයක මා පෙම් කල යුවතිය සොය පුතු නලවනවා ´´ මෙම ගීතයේ ,මෙම පදය ඇසූ සැනින් බොහෝ දෙනාට සිහිපත් වන්නේ,යම් පෙම්වතෙකු,ඔහුගේ හැරගිය කළින් පෙම්වතිය ඇගේ දරුවකු නළවන අයුරුයි.නමුත් මෙහි ගමය වී ඇති සැගවී ගිය රසය මහත් වූවකි .
මේ ගීතය ශ්‍රවණය කරන කොට ඕනෑම කෙනෙකුගේ හිත අතීතයට ඇදී යනවා.ඇතැම් ගීත ශ්‍රවණය කරන කොට ශ්‍රවණය කරන්නාගේ හිත වර්තමානයේ නවතිනවා.ඇතැම් ගීත ශ්‍රවණය කරනකොට ශ්‍රාවකයාගේ සිත අනාගත ලෝකයේ හීන සිහින දකිනවා.ඇතැම් ගීත ශ්‍රවණය කරන කොට ශ්‍රාවකයාගේ සිත තමන්ගේ ජීවිතය පිළිබඳව අතීත මතක ආවර්ජනය කරනවා.මේ ගීතය ශ්‍රවණය කරන විටත් අතීත ආවර්ජන මතකයෙන් යුතුව, අතීතයට යන සිතුවිලි සමග ගීතය පිළිබඳ ව අපට නැවුම් අත්දැකීම් ලබාදෙනවා.
දරුවා නළවන අම්මා පිරිමියා දිහා බලන විදියත්, එදා පෙම්වතිය තමා දිහා බැලූ විදියත් බැලීම අතින් එක වුනාට, ඒ බැල්මේ පවතින වෙනස, වෙනස් වීම මේ කතකයාට දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය තුළ පවතින අනිච්චතා සිද්ධාන්තය ඔහු එතනින් අදුන ගන්නවා. ඒ කියන්නෙ අද අම්මා වෙලා ඉන්න එදා පෙම්වතී තමා දිහා බලන බැල්ම තුළ මේ ධර්මතාවය මේ දර්ශනය ඔහු දකිනවා . එදා අපි දෙන්න කටයුතු කළ හැටි ,එදා අපි දෙන්නා කල කතා බහ,මෙදා අපි දෙන්නා ඔවුනොවුන් පිළිබඳ ව හිතන හැටි, මෙදා අපි බලන බැලුම් ,මෙදා අපේ තිබෙන වියපත් බව විසින් මනසට ලබාදෙන නව අත්දැකීම මතුකරන්නේ වෙනස්වීම කියන දර්ශනයයි.
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
පෙරදිනයක නැතහොත් ඔහු තරුණ වියේ පෙම් කළ ඔහුගේ පෙම්වතිය දැන් ඇගේ පුතුව නළවනවා. මේ හේතුව නිසාවෙන් උක්ත සඳහන් ලෙස සිතීමට අසන්නා පෙළඹෙනවා. නමුත් මෙහි කිසිම තැනක ඇය ඔහුව හැර ගිය බවක් හෝ ඔවුන් වෙන් වූ බවක් හෝ සඳහන් වෙලා නෑ. එසේ නම් ඇය නලවනුයේ ඔහුගේ ලෙයින් උපන් ඔහුගේ ම දරුවා ය. ඇය මව් පදවිය ලබා ඇත්තේ මොහු නිසා. එසේ නම් මෙහි ගම්‍ය වනුයේ අතීතයේ පෙම්කළ තරුණ යුවළක් ප්‍රේමය දිනා ගෙන විවාහ පත් වී දැන් ඔවුන්ගේ දරු සුරතල් නරඹන බවක් නොවේද? අනිත් විශේෂත්වය නම් මෙහි කිරිකැටියා නැළවීමට ඇය ගායනා කරන්නේ ද ඔහු ගේ ම ගීයක්. ...
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා
තරුණ වියේ ඇය දෙස බැලූ විට ඇගෙන් ඔහුට ලැබෙන නුරා බැල්ම වෙනුවට ඔහු දැන් ලබන්නේ මහත් වූ දයාවෙන් යුතු බැල්මක්. `දරුවා වදන්නට පෙර මට හෙලපු ඒ නුරා බැලුම් දැන් නෑ´... ඒ වෙනුවට දැන් නුවන් වලින් දයාව වැහෙනවා..´ තම දරුවාට මෙන්ම ස්වාමිපුරුෂයා හට ද, ඇති දයාව වියපත් වුවද මැණික් මෙන් බබලන ඇගේ නෙත් යුගලින් ඔහු අත්දකිනවා. මෙහි වැටහෙන තවත් කරුණක්නම් දරුවන් ලැබීමට පෙර ඔවුන්ගේ තිබූ කෙලිලොල් ලෙස පෙම් කිරීම, දරුවා ලැබීමත් සමග වෙනස් වෙනවා. නමුත් එහි අර්ථය පෙම අඩුවක් නොව, දරුවන් ඉදිරියේ වගකීම් සහගත දෙමාපිය හැසිරීමයි... නමුත් ඔහු පෙර පරිදිම ඇය දෙස බලා ඉතාම ආදරණීය ලෙස මුවග සිනහවක් මවනවා. එය දුටු අවිහිංසක ඇය යාන්තම් සිනා වෙන්නේ ඉතාම ලෙංගතු අයුරින් ...´´ දැන් වගකීම් වැඩියි අපිට, කලින් වගේ නෙවෙයි´´ කියන්න වුවද විය හැකියි. මේ තම කලින් පෙම්වතානම් එකවර මතුව මෙසේ හිනාවුනාම, හරියට තම ස්වාමියාට මෙන් කෝල බැලුම් හෙලාවිද....
හිරුට සදුට් නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා
මේ දෙපළ කොපමණ ප්‍රේමාන්විත ජීවිතය ගත කළාද යත් නම් විවාහ වී බොහෝ කාලයක් ගතවී ගියත් ඒ බවක් ඔවුන් දෙදෙනාට ම දැනී නැති හැඩයි. මේ මහා දෙරණ මත සිදුවන කිසිදු ක්‍රියාවලියක් හිරුට හෝ සඳුට නොදැනී, නොපෙනී සිදුවිය නොහැකි නමුත් මොවුන් දෙදෙනාගේ කාලය ගත වී ඇත්තේ වස්තුන් දෙපළටත් හොරෙන් බව රචකයා පවසයි.
කාලය ගතවී යනවා පමණක් නොව නෙත ගැටුණු විට විශ්වාස කල නොහැකි අන්දමින් ඇගේ රූපය වියැකී ගොසින්. එදා පළමුවෙන් ප්‍රේමය ප්‍රකාශ කල, ප්‍රේම කළ රූ සපුව දැන් වියැකී ගොසින්. එනමුත් මෙහි වටිනා ම කරුණ නම් මේ ප්‍රේමවන්තයා ඇයගේ ආත්මයට මිස රූ සපුවට ප්‍රේම කළ අයෙකු නොවීමයි. එය එසේ නම් මෙපමණ වියකී, මහලුව ගිය පසුවද මුලදී මෙන් පෙමක් පැවතිය නොහැකියි..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා....
නවාතැනෙහි ඉදිරියට වී අතීතය මෙනෙහි කරන මෙම ස්වාමියාට සිහි වන්නේ ඔවුන් මේ තත්ත්වයට පැමිණීමට විදි දුක් සමුදායයි. අපේ වචනයෙන්නම් කාපු කට්ටයි. යම් විටක ඇගේ සිත දිනා ගැනීමට විය හැකියි. කෙසේ හෝ වේවා ඇයව කරකාර බැඳ නිවහන වෙත කැන්දාගෙන එන දිනයේ වැට අද්දර පිපී තිබූ නාමල් අදටත් පූදිනවා, එම සිද්ධිය ස්වාමියාට පෙනෙන්නේ ..බිරිඳ වැට අද්දර නා ගස යට බලා හිදිනා විට එදා මෙන්ම අදද නා මල් පීදෙනවා මෙන් නොවෙනස්ව බිරිඳගේ සිත තුළ මෙන්ම මගේ සිත තුළ ද ආදර මල් පීදෙනවා, යන ආකාරයෙන් ය. නමුත් ඔවුන් දැන් කෙමෙන් කෙමෙන් වියැකී ගොසින්. මෙහිදී ජීවිතයේ ඇති අනිත්‍ය බව යම් ආකාරයකින් මෙනෙහි කිරීමක් කරනු ලබනවා. ඒ නාමල් දෙස බලමින් සිටින ඔහුට අතීතය සිහි වෙනවා.
නිවහල් ඉදිකිරීමට, රැකියා සොයා ගැනීමට, දරුවන් උස් මහත් කිරීමට, මුදල් ඉපයීමට ඔවුන් දෙදෙනා දැරූ මහන්සියේ ප්‍රතිඵල අද දකින ඔහුට මේ නිරහංකාර ආඩම්බරයක් ද ඇති වනවා ඇති. ´´කන්දක් නැගි විට පල්ලමක් ද නොඅනුමානයි´´ ලෙස ඔහු සිතනවාද විය හැකියි. නොයෙකුත් පවුල් ගැටලු, දරුවන් හැර දා යාම්, අනියම් සබඳතා, දික්කසාද වීම් වැනි පුවත් අසන්නට දකින්නට ලැබෙන වකවානුවක දරුවන් කෙරෙහි අසීමිත ආදරය, ඔවුන් මත වගකීම්, දෙදෙනා අතර කාලයත් සමග නොවෙනස් වන ප්‍රේමය වැනි වටිනා කරුණු පිළිබඳ මෙනෙහි කිරීමට සමත් වන අර්ථාන්විත ගීතයක් ලෙස මෙය පෙන්වා දීමට හැකියි.
❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete♥️♥️
ReplyDelete❤❤❤❤
ReplyDelete❤❤❤
ReplyDeleteඒක ලස්සනයි
ReplyDelete