ඇත්කද රජමහා විහාරය

 කුරුණෑගල රාජධානියේ මාණික්‍යයක් බදු වූ ඇත්කද රජමහා විහාරය .....



      කුරුණෑගල ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය වයඹ පළාතේ අගනගරය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ද වෙයි. අතීතයේ මෙම නගරය  හස්ති ශෛලපුර  ලෙස හදුන්වා දී ඇත. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැට්ටුවාන ග්‍රාමසේවා වසම තුළ පිහිටි ඇත්කද රජමහා  විහාරය ඓතිහාසික ඇතුගල්පුරයේ පිහිටි පෞරාණික පුදබිමකි. කුරුණෑගල මහනුවර මාර්ගයේ ප්‍රධාන හතරමං හන්දියේ සිට මීටර් 300ක පමණ දුරින් ගියතැන ඇත්කද රජමහා විහාරය අපට දැකගත හැකි ය. පුරාණ සත්කෝරළයට අයත්ව පැවති ප්‍රබල කෝරළයක් වන වෑ උඩවිල්ල හත්පත්තුව තුළ ස්ථානගතව පවතී. 

     ඇතුගල මහා පර්වතය මායිම් කරගෙන ඇත්කද රජමහා විහාරය ඉදි කර ඇත. ඇත්කද රජමහා විහාරයත් සමගම සම්බන්ධව ඇති ඇතුගල හෙවත් ඇතාගල ද කුරුණෑගල පුරවරයේ ඉතා ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙන ඉබ්බාගල, එළුගල, කුරුමිණියාගල, ආදාගල ආදී සත්ත්ව හැඩය නිසා නම්පට බැදුණු පර්වත සහ කුවේණිය සමග බැදී තිබෙනවා. විජය රජු විසින් නෙරපා හරින කුවේණිය ඉතාමත් දුකින් සහ විශාල කෝපයකින් යම් ශාපයක් සිදු කළ බවත්,ඒ ශාපය සිදු කළ ස්ථානයේ රැදී සිටි ඇතෙක්, කුරුමිණියෙක්, ඉබ්බෙක්, එළුවෙක් සහ ආදෙක් ශාපයේ ප්‍රතිඵලයක් විදියට මේ ආකාරයෙන් ගල් පර්වත හැඩයට පර්වර්තනය වූ බවත් මේ ජනප්‍රවාදයේ සදහන් වේ. මේ සෑම ගලකම අදටත් සැගවී තිබෙන ඓතිහාසික කාරණා බොහෝමයක් තිබෙන බව කුරුණෑගල ජනතාව විශ්වාස කරනවා.

     ඇතාගල ඇතුළු මේ පර්වත පෙළ ස්වභාවික ආරක්ෂක වළල්ලක් ලෙස පිහිටා ඇති නිසාත්, ඒ ඔස්සේ කුරුණෑගල ප්‍රදේශයේ ඇති ආරක්ෂිත බව හා බිමේ තිබෙන සාරවත් බව නිසාත් කුරුණෑගල රාජධානියක් ලෙස භාවිත වුණු බව ඉතිහාසය සදහන් කරනවා. කුරුණෑගල රාජධානියට අයත් වුණු රජවාසලේ සහ දළදා මාළිගයේ නටබුන් ඇතුගලට පාමුලින් පිහිටා ඇති බව කියවුණත් ජනාකීර්ණ වීමත් සමග අද ඒ නටබුන් දැකගන්න නොලැබේ.

      රාජධානියක් ලෙස කුරුණෑගල හෙවත් ඇතුගල්පුර ඉස්මතු වීම සිදුවන්නේ 14 වන සියවසේදී පමණ කුරුණෑගල බලයට පත්වූ පාලකයනුත් දඹදෙණි රජ පෙළපතට අයත් පිරිස් බව සැළකෙනවා. තවදුරටත් ජනප්‍රවාදය සහ කුරුණෑගලට සම්බන්ධ ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මතුවන කාරණයක් තමයි ඇතුගලේ පිහිටා තිබුණා යැයි සැළකෙන ඇතුගල විහාරය පිළිබඳ කතාව. නමුත් අවාසනාවකට 2003  වර්ෂයේ හස්ථි ශෛලපුර බුදුරුව සංවර්ධන සමිතිය විසින් ඉදිකරන්නට යෙදුණු අඩි 66ක් උස සමාධි බුදුපිළිම වහන්සේ හැරෙන්නට ඒ පැරණි විහාරයේ නටබුන් කිසිවක් ඇතුගල මත දක්නට ලැබෙන්නේ නැත.

      නමුදු  ඇත්කදක ස්වරූපය  ගත් මහා පර්වතය මායිම් කරගෙන ඉදිකරන ලද විහාරය ඇත්කද රජමහා විහාරය ලෙසට හදුන්වනු ලබන අතර එය හත්ථි කන්ද විහාරය ලෙසත් හතිගිරි විහාරය ලෙසත්දු හදුන්වනු ලබයි.

    මෙම විහාරය අවට ප්‍රධාන ගල් කදුවැටි කීපයක් ඇත. එනම් ඉබ්බාගල, ආදාගල, අංගංගල, එළුගල, කුරුමිණියාගල, යක්දෙස්සාගල ආදී වශයෙනි. අතීතයේ ඉන්දියාවේ කුරුරට සිට් පැමිණි ඉන්දියානුවන් පදිංචි වී සිටි නිසා කුරුණෑගල ලෙස මෙම ප්‍රදේශය  හැදින්වූ බවද ඇතැම්හු පවසති. මහින්දාගමනයට පෙර සිටම මෙම ප්‍රදේශයේ ආදිවාසීන්ගේ ජනාවාස වූ බව ද ඔවුන් සූර්ය වන්දනාව කළ බවද පැවසේ.

      මෙම වෙහෙර කවරකු විසින් තනවන ලද්දක් ද යන්න තවමත් ස්ථීර වශයෙන් ම නිගමනය කළ නොහැකිව පවතින අතර දේවානම්පියතිස්ස රජුගේ මල්ලී කෙනෙකු වූ සූරතිස්ස නම් රජු විසින් කරවන ලද බවට විශ්වාස කෙරේ. එය ක්‍රිස්තු පූර්ව 177- 187 දක්වා දිගු ඉතිහාසයකි. 

     මෙම ඇත්කද රජමහා විහාරස්ථානය ලෙන් විහාර ගණයට වැටෙන විහාරස්ථානකි. මෙහි ලෙන් විහාර දෙකකි. මෙම ලෙන් විහාර , විහාර මළුවෙහිපිහිටා තිබේ. ඇතුගල පාමුල පර්වතයෙන් බාහිරව පිහිටි ගලක් තුළ ස්වභාවිකව නිර්මාණය වී ඇත. ගල්ලෙන කටාරම්  කොටා මිනිස් වාසයට සුදුසු අයුරින්  නිමකොට ඇත. ලෙනෙහි සිවිලිම මත විශේෂිත චිත්‍ර දක්නට ලැබේ .කලින් කලට ඒවා නවීකරණය වී ඇත. පළමු ලෙන් විහාරය තුළ ප්‍රතිමා කිහිපයක් දැකිය හැකිය. ඒ අනුව සැතපෙන පිළිමයක්,හිටි පිළිමයක් හා සමාධි ඉරියව්වකින් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක් දක්නට ලැබේ. මෙම විහාර ගෙය ඉදිරිපස පියස්ස නෙළුම් මල්,බෝ පත්, සිංහයා, භේරුණඩ පක්ෂියා, මකරා, පෙති විකසිත වූ නෙළුම් මල් ආදී දෑ කැටයම් කොටා ඇති ලී කණු දෙකක් මත රදා පවතී. මෙහි ඉදිරිපස බිත්ට්ජියේ දහම්සොඩ කතා වස්තුව හා මකර තොරණ සිතුවම් කොටා ඇති අයුරු දැකිය හැකිවේ.

       දෙවෙනි ලෙන් විහාරය පිහිටා ඇත්තේ විහාරයට නැගෙනහිර දිශාවෙනි. මහනුවර යුගයේ කලා සිතුවම් භාවිතය මෙහි දක්නට ලැබේ. මේ තුළ සත් සතිය මූර්තිමත් කර ඇති අතර බුද්ධත්වයට පත්වීම ද පෙන්වා දී ඇත. විෂ්ණු දේව ප්‍රතිමාවක් ද මෙහි එක් පසෙක මූර්තියට නගා ඇත. වසර 100කට පමණ ආසන්න පෞරාණික ධර්ම ශාලාව යටත් විජිත යුගයේ ඉදි වූවක් බව පෙනේ. ඒ සදහා ප්‍රවිෂ්ට වීමට වාහල්කඩ කිහිපයක් ද තනවා ඇත. ඝණ්ටාකාර හැඩයේ ස්තූපයක් ද, බෝධි කොටුව හා බෝධීන් වහන්සේ ද මෙම වෙහෙර පරිශ්‍රයේ ඉපැරණි ඓතිහාසික මුහුණුවරට සාක්ෂි සපයයි.

      මෙම විහාරස්ථානය සතුව ඇති බෝධිය අනුරාධපුර යුගය දක්වාම පැරණි යැයි පැවසේ. එසේ ම පළමු වන අග්‍රබෝධි රජතුමා ක්‍රි.ව 571 – 604 වකවානුවේ දී මෙම විහාරයට ප්‍රාසාදයක් ඉදිකරවා දුන් බව පැවසේ. එහි නටබුන් ද අනුරාධපුර යුගයට අයත් සෙල්මුවා පිළිම දෙකක් ද දක්නට ඇත. බිතුසිතුවම් මගින් මහින්දාගමනය, ප්‍රජාපතීගෝතමියගේ කඨින චීවර පූජාව, රජගහ නුවර පිඩුසිගා වැඩීම ආදිය සිතුවම් කර මෙම විහාරස්ථානය තුළ පුරාවස්තු රැසක් ඇත. ඒ අතර විශේෂිත පාෂාණ වර්ගයකින් සාදන ලද ඩබරාව හෙවත් ජල පෙරනය වැදගත් තැනක් ගනී. එමෙන් ම මෙම විහාරයේ තැන්පත් කර ඇති ජාතක කතා පොත් වහන්සේ නම් ග්‍රන්ථය ඇතුපිට් තබා පෙරහරින් නගරය වටා ප්‍රදක්ෂිණා කිරීම සිරිතකි. එය දඹදෙණියේ රජ කළ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ රාජ නියෝගයකි. සෑම වර්ෂයකම ඇත්කද රජමහා විහාරයෙන් ආරම්භ වී කුරුණෑගල නගරයේ වීදි සංචාරය කරන පෙරහැර මංගල්‍යයේ ඇතෙකු පිට තබා ගනිමින් ජාතක පොත් වහන්සේ රැගෙන යාම අනිවාර්යය කටයුක්තකි අදටත්.

      එසේම  ඇත්කද විහාරයට අයත් ගලේ බණ්ඩාර දේවාලය තුළ එම දෙවියන්ට අයත් ඇදුම් ආයිත්තම් තැන්පත්කර ඇත. මෙම ගලේ බණ්ඩාර දෙවියන් ජීවමාන ප්‍රාදේශීය දේව සංකල්පකි. කුරුණෑගල අගනුවර යුගයේ කුරුණෑගල රජ කළ දෙවන බුවනෙකබාහු රජුට සහ සිය මුස්ලිම් ජතික බිසවකට දාව උපන් වත්හිමි බුවනෙකබාහු හෙවත් තුන්වන බුවනෙකබාහු කුමරු කුමන්ත්‍රණයක් මගින් ඝාතනය වීමත් සමග මෙම ගලේ බණ්ඩාර දේව සංකල්පය ආරම්භ වී ඇත. දෙවන බුවනෙකබාහු රජුගේ ඇවෑමෙන් ඔටුන්න හිමි කුමරු ලෙස සිටි මුස්ලිම් ජාතික බිසවට උපන් වත්හිමි බුවනෙකබාහු කුමරුට රජකම උරුම වීමත් සමග අමාත්‍යවරු සහ වන්නි බුවනෙකබාහු කුමරු කුමන්ත්‍රණයක් සිදු කර යාගයක් සූදානම් කරවා ඇතුගල මුදුනේ රැහැනින් එල්වන ලද යාග මණ්ඩපය සූදානම් කරවා පවත්වා මධ්‍යම රාත්‍රියේ දී රජු යග මණ්ඩපයේ සිටිද්දිම රැහැන කපා වත්හිමි රජු ඇතුගල පාමුල හෙලා ඝාතනය කරවා ඇත. අනතුරුව අන්තිම ප්‍රදේශයේ ජීවත් වූ මුස්ලිම් බිසවගේ ඥාතීන් සහ වත් හිමි බුවනෙකබාහු කුමරුගේ හිතවතුන් ඇතුගල පාමුල තිබූ රජුගේ මල සිරුරු භූමිදානය කර එම ස්ථානයේම දේවාලයක් ඉදි කර පුදසිරිත් ඉටු කර තිබේ. ඒ අනුව අද දක්වාම ප්‍රදේශයේ මුස්ලිම් සිංහල බැතිමතුන් ද මෙම ගලේ බණ්ඩාර දේවාලයේ පුද පූජා වලට සහභාගීවනු දක්නට ලැබේ. රත් සදුන් ලීයෙන් කරන ලද අඩි 2ක් පමණ උසින් යුතු වූ ගලේ බණ්ඩාර දේව ප්‍රථිමාවක් ද මෙම දේවාලයේ තැන්පත් කර ඇත.

     මෙම කුරුණෑගල නගර මධ්‍යයේ ඇතුගල පාමුල පිහිටා ඇති ඇත්කද රජමහා විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයට මාණික්‍යයක් බදු ය.




Comments

Post a Comment

Popular posts from this blog

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️