සන්නාලියනේ ගීතය විචාරය

 සන්නාලියනේ සන්නාලියනේ 

සන්නාලියනේ සන්නාලියනේ 

මේ හිමිදිරි උදයේ

සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

කාට ද ඇදුම වියන්නේ

කාටද ඇදුම වියන්නේ 


මාලගිරා තටු සේම රුවින් යුතු 

නිල්වන් ඇදුම වියන්නේ 

කාටද ඇදුම වියන්නේ 


මාලගිරා තටු සේම රුවින් යුතු 

නිල්වන් ඇදුම වියන්නේ 

ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි

මේ පොඩි ඇදුම වියන්නේ 


සන්නාලියනේ සන්නාලියනේ 

මේ හැන්දෑ යාමේ

හැඩ වැඩ දමලා ලස්සන කරලා

කාටද ඇදුම වියන්නේ 

කාටද ඇදුම වියන්නේ 


සැන්දෑ අහසේ රන්වන් පාටින් 

දිලිසෙන ඇදුම වියන්නේ 

කාටද ඇදුම වියන්නේ 


සැන්දෑ අහසේ රන්වන් පාටින් 

දිලිසෙන ඇදුම වියන්නේ 

ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි

මංගල ඇදුම වියන්නේ 


සන්නාලියනේ සන්නාලියනේ 

සීතල හද එළියේ

මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්

කාට ද සලුව වියන්නේ 

හීතල සලුව වියන්නේ 


කණකොක් තටුවේ සුදුමැලි පාටින් 

සීතල සලුව වියන්නේ

 කාටද සලුව වියන්නේ 


කණකොක් තටුවේ සුදුමැලි පාටින් 

සීතල සලුව වියන්නේ 

මියගිය ඇයගේ මිනිය වහන්නයි

සීතල සලුව වියන්නේ 


ගායනය- ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව 

පද රචනය- මහගම සේකර 

තනුව- ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව 

ප්‍රවීණ ගීත රචක මහගම සේකරයන් විසින් රචනා කරන ලද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීතය නිර්මාණය කරමින් ගායනා කරන ලද සන්නාලියනේ කියන ගීතය බුදු දහමින් පෝෂණය වූ සිංහල රටට බුදුසමයේ උගන්වන ගැඹුරු හරය සෞන්දර්යාත්මක කියලා දෙන ගීතයක් බවයි මගේ හැඟීම. ඉන්දීය නිර්මාණකරුවෙකු විසින් කළ නිර්මාණයක් ඇසුරු කර ගනිමින් මහගමසේකරයන් මේ ගීතය පද ගොනු කරනවා. සන්නාලියනේ ගීතය  දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරයි.

ගීතයෙහි ජීවත් වන ප්‍රධානතම චරිතය තමයි රෙදි මහන සන්නාලිය. සන්නාලියා තුළින් ජීවිතය පිළිබඳ අර්ථය කියලා දෙනවා. සන්නාලියාගේ රාජකාරිය තමයි තමන්ට මහලා දෙන්නට කියලා ඇනවුම් කරන රෙදි මසා නිම කොට ඒ අයට ලබා දෙන එක. එක පාරක් එක ඇඳුමක් මැහුවහම ඒ ඇදුම අරගෙන යන අඳින පළදින කෙනාම නැවත වතාවක් වෙනස් විදිහක වෙනත් ඇඳුමක් මහන්නට ඇනවුම් භාර දෙනවා. ඒ වෙලාවේ සන්නාලියා කරන්නේ ලබාගත් ඇණවුමේ විදිහට ඇඳුම මහලා අදාළ පුද්ගලයාට දෙනවා. ඇඳුම් මැහි මෙන් තමයි එයාගේ ජීවනෝපාය හොයාගන්නේ.

 සන්නාලියා ඇදුම් මැසීම දිගටම කරගෙන යනවා. දිගින් දිගටම කරගෙන යනවා. ඒ දිහා බලාගෙන ඉන්න වෙනත් කෙනෙක් ඔහුගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඔහු අහන ප්‍රශ්න ඒ සඳහා සන්නාලියා දෙන උත්තරත් අසාගෙන ඉන්න ශ්‍රාවකයා ජීවිතය පිළිබඳව කිසියම් අවබෝධයක් ලබනවා.


සන්නාලියනේ සන්නාලියනේ 

මේ හිමිදිරි උදයේ

සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී

කාට ද ඇදුම වියන්නේ


උදය යනු දවසේ ආරම්භය යි. හිමිදිරි උදය යනු නැවුම්, අලුත් දිනයක ඇරඹුමයි. ඔවුන් සන්තෝෂයෙන් ඇඳුමක් වියයි. මේ හිමිදිරි උදයේ මෙතරම් සන්තෝසෙන් කවුරුන් වෙනුවෙන් මේ ඇඳුම වියන්නේ දැයි රචකයා විමසයි. මෙහිදී ජීවිතය, ජීවිත ගමන, එළැඹි ගෙවීයන එක් දිනෙක උපමා කිරීම ද දැකිය හැක. `` සන්නාලියනේ..... සන්නාලියනේ..´´ යැයි දෙවරක් යෙදීමෙන් ප්‍රශ්නය අසන්නා තුළ   සන්නාලියන් දැකීම නිසා ඇතිවුණු උද්යෝගය කෙතරම් වීදැයි හැඟවීමට යොදන අතර, `` හිනැහී... හිනැහී ...´´ ලෙස දෙවරක් යෙදීමෙන් ඔවුන් කෙතරම් සතුටින් පසුවන්නේදැයි පෙන්වයි.


මාලගිරා තටු සේම රුවින් යුතු 

නිල්වන් ඇදුම වියන්නේ 


කාටද ඇදුම වියන්නේ 

මාලගිරා තටු සේම රුවින් යුතු 

නිල්වන් ඇදුම වියන්නේ 

ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි

මේ පොඩි ඇදුම වියන්නේ 


`` Blue as the wing of a halcyon wild´´  ලෙස නයිදු විසින් ලියන ලද පද පෙල අපට වඩාත් සමීප වනු පිණිස, පිළිහුඩුවා ගේ නිලිවන් අත්තටු යන යෙදුම සේකරයන් විසින් මාලගිරා තටු ලෙස වෙනස් කරයි. මෙය හුදෙක් පරිවර්තනයක් පමණක් නොවන බව දැක්වීමට එක නිදසුනකි .

සන්නාලියනේ සන්නාලියනේ 

මේ හැන්දෑ යාමේ

හැඩ වැඩ දමලා ලස්සන කරලා

කාටද ඇදුම වියන්නේ 


සැන්දෑ අහසේ රන්වන් පාටින් 

දිලිසෙන ඇදුම වියන්නේ 

ඒ කුළුදුල් දූ දීගෙක දෙන්නයි

මංගල ඇදුම වියන්නේ 


කාලය ගෙවී ගොස් ඇත.ඉපැදුනු දූ සිගිත්ත දැන් යෞවනියකි. මෙය උපමා කරන්නේ උදය ගෙවා හමාර කොට සන්දයාවට එලැඹුනු දවසක් ලෙසිනි.කාලය සමග ජීවිතය එතරම් ඉක්මනින් ගෙවී යයි. ඇයගේ යෞවනත්වය, සුන්දරත්වය සහ ඇයගේ මංගල ඇදුමේ සුන්දරත්වය සමාන කරනුයේ, බැසයන හිරුගේ රන්වන් පැහැයෙන් ඔපවත්වූ අහසටයි.

මෙහිදී ද `` Like the plumes of a peacock ,purple and green´´ යන පදපෙල වෙනස් කරමින් මොනර පිල් වල වර්ණ වෙනුවට අපට වඩාත් දැනෙනු පිණිස අපේ රටේ විවාහ වලදී මංගල ඇදුමේ වර්ණය ලෙස බොහෝ විට යොදාගන්නා රන්වන් පැහැය යොදා ගැනීමත් මෙම ගීතය අපට තවත් සමීප කරවීමට ඉවහල් වී ඇත.


සන්නාලියනේ සන්නාලියනේ 

සීතල හද එළියේ

මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්

කාට ද සලුව වියන්නේ 

හීතල සලුව වියන්නේ 


කණකොක් තටුවේ සුදුමැලි පාටින් 

සීතල සලුව වියන්නේ

 කාටද සලුව වියන්නේ 


කණකොක් තටුවේ සුදුමැලි පාටින් 

සීතල සලුව වියන්නේ 

මියගිය ඇයගේ මිනිය වහන්නයි

සීතල සලුව වියන්නේ 


`` White as a feather and white as a cloud´´ යන පදය හුදෙක් සුදුපැහැ කුරුළු පිහාටුවක් නොකියා කණකොක් තටුවේ සුදුමැලි පාටට උපමා කරන්නේ කණ කොකා නම් පක්ෂියා ලාංකේය සමාජයේ අවාසනාව ගෙන එන සත්වයකු ලෙස ඇති පිලිගැනීම පදනම් කර ගනිමිනි.

දිවියේ සැඳෑ සමය වයංගයාර්ථවත්ව ස්වභාවෝක්ති අලංකාරය භාවිත කරමින් සේකරයන් විසින් මනාව නිරූපණය කරයි. `` සීතල සඳ එළියේ´´හෙල ගීත කලාවේ `` සඳ ´´ නිති යෙදෙන කාව්‍ය භාවිතයක් වේ. බොහෝ විට සඳ ශෘංගාරාත්මක සංකේතයක් ලෙස භාවිතයට ගැනුන ද මෙහිදී සඳ ජීවිතයේ සැදෑ සමය නිරූපණය කිරීමට ගත් සඵල ප්‍රයත්නයක් ලෙස දැක්විය හැකිවේ.`` සීතල සඳ එළිය´´ මගින් මහලු වයසේ කටුකත්වය ගම්‍ය වනවා සේය. උවනේ  මලානිකත්වය, සහ ``වෙව්ලන දෑතින්´´ මහලුවිය ස්පර්ශ කරයි. 

´´කණකොක් තටුවේ´´ ශරීරයේ අනියත බව මනාව පිළිඹිබු කරයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳ ගැඹුරු අරුත වචන දිවන්දයකට කැටි කර ඇති සෙයකි. රෝගී වන, දුබල වන, මහලු වන ශරීරය සිහියට නැගේ. ´´ සුදු මැලි පාටින්´´ ගතේ සුදු මැලි බව මෙන්ම මරණයේ සංකේතයක් ලෙසද , සුදු පාට යොදා ගැනේ. ´´සීතල සලුව´´ දිවියේ සැඳෑ සමයේ වේදනාත්මක යථාර්ථය මෙකී යෙදීමෙන් මනාව පිළිබිඹු වේ.

බුදු දහමේ අපට උගන්වන අනිත්‍ය බව, ජීවිතයේ ඇති කෙටි බව ඉතා සංවේදීව ඉදිරිපත් කරන මෙම අවසාන පද කීපය අප සැමට සිතීමට යමක් ඉතිරි කරයි.

 දිනය ගෙවී ගොස් ඇත. දැන් ගෙවෙන්නේ සීතල රාත්‍රියයි. මරණය, එහි ඇති මලානික බව, විචිත්‍රවත්ව බවින් තොර බව, සන්තාපය, පිළිබිඹු කිරීමට යොදා ගන්නා සීත රාත්‍රිය, සුදු සඳ එලිය මෙම ගීතය වර්ණවත් කරයි. අවසානයේ  ඉතිරිව ඇත්තේ දුකක් පමණකි. එදා ඔවුන්ගේ මුහුණෙහි තිබූ සිනාවන් විවීමට තිබූ උද්යෝගවත් අද නැත. අද ඔවුන් මැලවුණු මුහුණුවලින් වෙව්ලන දෑත් වලින් වියමනේ යෙදෙයි. මෙතෙක් වේලා ඇදුම ලෙස යෙදූ යෙදුම ද කවියා සළුව වශයෙන් වෙනස් කරයි.

 අප කරනුයේ සන්නාලියන් කරන දේම නොවේද? මෙය හුදෙක් අප විසින්ම අපේන්ම අසන පැනයක් බදුය.සන්නාලියක් ලෙසම උපන්දා සිට ජීවිතය නමැති සළුව වියයි. හැඩවැඩ දමමින්, වියමන දෙස බලමින් සතුටු වෙමින්, ආඩම්බර වෙමින් මේ වියන්නේ අවසානයේ අතහැර යන ජීවිතය නැමති සළුවයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීත්වත්කොට ඔහුගේ අසමසම වූ හඩින් ගායනා කරනු ලබන මෙම ගීතය එවකට අපර අඩුවක් ව පැවති අපේම වූ නිර්මාණ කලාවක් බිහි කිරීමට දායක වූ එක් වටිනා ගීතයකි

Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

කෙටිකතාව❤️