හතරමං හන්දියක අතරමං වී ඇති Teledrama...

 

 හතරමං හන්දියක අතරමං වී ඇති Teledrama...


     ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ ආරම්භය සිදුවනුයේ  1982 දී විකාශය වූ " දිමුතු මුතු " ටෙලි නාට්‍ය සමඟය. සිංහල ටෙලි නාට්‍ය කලාව එසේ ආරම්භ වී 80 වසර වල සහ 90 දශකය තුළ දැඩි පිබිදීමකින් යුතුව වර්ධනය විය. විශේෂයෙන් ගිරය, පලිගු මැනිකෙ, කඩුල්ල, යශෝරාව, හිරුට මුවාවෙන්, රතු රෝස, අසල්වැසියෝ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, දඩුබස්නාමානය, වෙදහාමිනේ, අකාල සන්ධ්‍යා, කීටයා, අඹ යාලුවෝ, දළ රළ පෙළ, බැද්දෙගෙදර, අඹුදරුවෝ, කන්දෙගෙදර, ගජමන් නෝනා, ඉන්ගම්මාරුව, ටාසන්, දූ-දරුවෝ ආදී විශිෂ්ට නාට්‍ය රැසක් 80 සහ 90 දශකයේ බිහි විය. සෑම එකක්ම පාහේ පිටපත, අධ්‍යක්ෂණය, කතා තේමාව, තාත්වික නළු නිළි රගපෑම්, නිර්මාණශීලී බව ආදී සියලු දෙයින් සමන්විත පරිපූර්ණ ඒවා විය. එනම් සරළව කිවතොත් 80 සහ 90 දශකය සිංහල ටෙලිනාට්‍ය  කලාවේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වා දිය හැකිය.

    නමුදු හතරමං හන්දියකට පැමිණි ටෙලි නාට්‍ය කලාව 2000 දශකය ආරම්භ වීමත් සමඟ යම් ඒකාකාරීත්වයකට යොමු වීමට පටන් ගැණුනි. එය 2005 වසරේ බහුලව පෙන්නුම් කිරීමෙන් මෙම ටෙලි නාට්‍ය කලාව පසුබෑමකට ලක් වන්නට සිදු විය.

      ප්‍රේක්ෂකයා සාලයට රාත්‍රී 7 .00න් පසු රැස්වනුයේ තම දවසේ ඒකාකාරී ස්වරූපයෙන් මිදී යම් රසයක්, මනස සැහැල්ලු කර ගැනීමක් බලාපොරොත්තුවෙන් ටෙලි නාට්‍යයක් නැරඹීමට‍ය. නමුදු වත්මන් අධ්‍යක්ෂක වරු සිය පිටපත් බොළඳ ප්‍රේම කතාවටම සීමා කිරීමට පෙළඹී ඇති මේ කාලවකවානුව ප්‍රේක්ෂකයාට එම නාට්‍ය නැරඹීම තුලින් නම් මනස නිදහස් කර ගැනීමට සිදු කර ගැනීමට නොහැකි වනු ඇත.

    රූපවාහිනියක නාට්‍ය කලාව මෙගා නාට්‍ය සංකල්පය තුළ සිරවීමත් එතුළ නවක කිසිදු අත්දැකීමක් නොමැති ශිල්පීන් චරිත පණ පෙවීමත් හමුවේද නාට්‍ය සියල්ලම පාහේ ඔහේ ගලා යන දිය පාරක් වැනිය. ගල් පෙළවල් නොමැති වීම තුළ එම දිය පාර ඔහේ කිසිදු හැඩයක් නොමැතිව ගලා යයි. එතුළ බොළඳ ප්‍රේමය හුවා දක්වා මුළු කතාංගම ඊටම පමණක් වෙන් කර ලීම දැකිය හැකිය.

    ටෙලිනාට්‍ය තුළ ප්‍රේමය යනු මූලිකම තේමාවක් බැව් සත්‍යයකි. නමුදු මුළු කතාංගයම බොළඳ ප්‍රේමය ටම පමණක් ඉඩ වෙන් කළහොත් බොළද  ප්‍රේමවන්ත දෙදෙනකු හරහාම කතාංගය ගලා යෑම ඇත්තටම ගල්පර නොමැති ඔහේ ගලා යන දිය පාරක් බඳුය. අතීතයේ ටෙලිනාට්‍ය තුළ ද ප්‍රේමය මූලික විය. නමුදු එයම පමණක් කතාව තුළ දක්නට නොලැබුණි. දෙබස් තුළ දක්නට නොලැබුණි. සමාජ, ආර්ථික, දේශපාලනික කරුණු මෙන්ම ප්‍රේමය, ශෝකය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, ත්‍රාසය, භීතිය, කුතුහලය මේ සියලු කාරණා ඉතාමත් රසවත්ව නිරූපණය විය.

          නමුදු අද වත්මන් මෙගා ටෙලිනාට්‍ය රැල්ල තුළ ඇත්තේ ප්‍රේමයටත් එහා ගිය බොළඳ ලාබාංශයේ ප්‍රේම දෙබස් පමණි. ඉන් එහා කිසිදු හරයක් රසයක් දැකිය නොහැක. අද සියලු නාලිකා වල විකාශය වන ටෙලි නාට්‍ය  එකම රටාවක ට ගලා යන එකම හොද්දක් වැනි ය. ඒ හැම හොද්දේම රස එකම රසය. කලාතුරකින් හොද්දේ රස වෙනස් වූ ටෙලි නාට්‍ය විකාශනය වුවද ඊට ඇගයීමක් නොලැබී යයි. නමුදු ප්‍රේක්ෂකාදරය උපරිමයටම ලැබේ. මන්ද ඔවුන් ද බලාපොරොත්තු වන්නේ බොළද  ප්‍රේමවන්තයින්ගෙන් එහා ගිය ජීවිතය හා සබැඳි යථාර්ථවාදී ටෙලි නාට්‍යය.

          කෙසේ වුවද වත්මන් මෙගා රැල්ලට ටෙලි නාට්‍ය කලාව හසුවී හමාරය. එතුළ එන එක සිදුවීමක් සිදුවීමට කොටස් දහයක්වත් ඉදිරියට යා යුතුය. මේ ආකාරයට එකම තැන පල්වන මෙගා නාට්‍ය මිනිස් මනස නිදහස් කිරීම නොව තවත් වියවුල් කිරීමට පමණක් සමත් වේ. හතරමං හන්දියේ සිටින මෙම ටෙලි නාට්‍ය කලාව තුළ අතරමංවී ඇත්තේ ප්‍රේක්ෂකයාවත් ටෙලි නාට්‍ය කලාවත් නොව එකම රටාවේ පිටපත් රචනය සිදු කරන අධ්‍යක්ෂකවරුන් පමණි.



Comments

Post a Comment

Popular posts from this blog

ඇත්කද රජමහා විහාරය

සන්නාලියනේ ගීතය විචාරය

කෙටිකතාව❤️